ඔබ මට තරුවකි

Tuesday, July 17, 2012

ඔබ මට තරුවකි 20,21,22

20 කොටස (23/06/2012)

පැය කිහිපයක් වරින් වර මේ විදියට තෙතමාත්තු කිරීමෙන් දරුවාගේ උණ අඩු කරගන්න ඔවුන් සමත්වුනා.මේ අතර වීරසූරිය වෙළදපොළට ගොස් එය තවමත් වසා ඇති නිසා නැවත පැමිණි අතර ‍ඔහු එසැනින් පාසලට ගොස් දිසානායකව කැදවාගෙන ආවා.
සවස නැවත උණ වැඩිවු නිසා දරුවා රෝහලට රැගෙනයාමට තීරණය වුනා.එදා ඔවුන් සමග රෝහලට ගොස් නැවත පැමිණි වීරේ කී දෙයින් තමාද වේදනාවට පත්වුබව දේවිකාට අද මෙන් මතකයි.

“හරි ‍වැඩේ දේවිකා, ළමයි බලන දොස්තර නෑ.. නිවාඩු ගිහින්.පොඩි ඩොක්ටර් කෙනෙක් හිටියේ එයා චෙක් කරලා ඇඩ්මිට් කරා.”
“මොකද අසනීපේ කිව්වේ?”
“එයා හරියට කිව්වේ නෑ රිපෝට් වගයක් ගන්න කිව්වා... හවසට කෑම ටිකක් යවමු. දිසාට 1මෙහෙන් කන්න කියමු.”

මෙසේ තමුන් දෙදෙනා මංගලාගේත් දිසාගේත් දුකට පිහිට වු අයුරු දේවිකා සිහිපත් කළා.දින කීපයක් මාතර රෝහලේ තබාගත් දරුවා තවදුරටත් රෝගය උත්සන්න වීමත් වෛද්‍යවරුන් නිසිලෙස රෝහලට නොපැමිණීමත් නිසා(භීෂණය නිසා)කොළඹට මාරු කළා.
එහිදී දරුවා පරීක්ෂාකළ වෛද්‍යවරුන් මෙතෙක් කළක් ප්‍රමාධවීම ගැන දොස් තබමින් ඉතා වේදනාබර තීන්දුවක් දුන්නා.

ඔවුන් පවසා තිබුනේ අවිශ්කගේ සිරුරට ඇතුළුවු විෂබීජයක් නිසා උගුර ආසාදනයවි ඇතිබවත් එය හේතුවෙන් ස්වරාළයට හානි සිදුවී ඇති බවත්,ඒ නිසා එය ඉවත් කීරීමට සිදුවන බවයි. මේ වන විට දරුවා හැඩුවේද ඉතා අපහසුවෙනුයි.
මේ පුවත ඇසු මොහොතේ මංගලා ක්ලාන්තවු බව එහි ගොස් පැමිනි විරේ පැවසු බව දේවිකාට සිහිවුනා. තම එකම දරුවා අනාගතයේදි ගොළු වන බව ඇසු මවක් කෙසේ නම් එය දරාගන්නද?

“දේවිකා, මොකද මේ... මොකක්ද අසනීපේ.” විරේ නැවත නිවසට පැමින දේවිකාගේ ඇද අසලට පැමිණ ඇයගෙන් අසන තුරු දේවිකා සිටියේ අතීතයේ.

“ආහ් ඔයා ආවද?... නෑ මේ කැරකිල්ලක් වගේ ආවා. දැන් හරි.”
“එහෙම හරියන්නේ නැ. යමු ඩොක්ටර්කෙනෙක් ලගට... කාලද ඉන්නේ ?”
“නෑ ඔයාත් ආවම කන්න හිටියා. දැන් සනීපයි. ඔයා වොෂ් එකක් දාගෙන එන්න. මම කැම බෙදන්නම්.”

“අනේ මන්දා... කෑම නම් ඔය දුව මේසෙට ඇරලා තියන්නේ. යමු ප්‍රෙෂර් වත් චෙක්කරං එන්න.”
“ඕන නෑ.. දැන් හරි..” එසේ කී දේවිකා කොණ්ඩය සකසමින් කාමරයෙන් පිටවුනා.

දෙදින නිවාඩුව අවසන්වි දිනිතිත් නිශාත් රාජකාරියට ආවා.සුපුරුදු ලෙස සවස පෙම්වතුන් මුනගැසුනා.
“මොකද, මුණ නරක්වෙලා වගේ?” අවිශ්ක දිනිතිගේ මුණට එබි සිනාමුසුව ඇසුවා.
“නෑ මොකුත් නෑ” දිනිති ව්‍යජ සිනාවක් පෑවා. ඒත් ඒක අවිශ්කට දැනුනා.

“මොකද නැත්තේ මොකක් හරි අවුලක් තියනවා... ඔයාට මට කියන්න බැරි දේවල් තියනවද?”
“නෑ අනේ... මේ.. මේකයි. අපේ ගෙදරින් මට යොජනාවක් ගැන කිව්වා... අපේ දුරින් නෑ වෙන අයියා කෙනෙක්, විකුම් කියලා.” තවදුරටත් අවිශ්කගෙන් මේක වසන් කරනු නොහැකි වු නිසා දිනිති කාරණාව කීවා.

 ඒත්.. 
අවිශ්කට මේ කාරණාව  ඇදහිය නොහැකි වුනා. දිනිති මගෙන් ඈත් වෙන්න ද මේ හදන්නේ... සිනාවෙන් පිරි තිබුනු ආදරය පිරුණු
මුහුණ අදුරු වි යන විදිය දිනිතිට පෙනුනා.
 ඇගේ නෙත් තේත් වුනා.අවිශ්කගේ සිත වැලිකොළයකින් සීරුවා වගේ දැනෙන්න වුනා.ඔහුට කියාගන්න බැරි වේදනාවක්!!... කෙසේ කියන්න ද? එසේ නම් කෙසේ සන් කරන්න ද?

දිනිති වේදනාව යටපත් කරගෙන මෙස් කීවා.
“ඉතින් මම ඔයා ගැන ගෙදරට කීවා”

“ඉතින්?” කියන්න වගේ අවිශ්ක දිනිති දෙස බලා සිටියා.

“මම.... මම දන්නෑ මොනවා වෙයිද කියලා.... මම දන්නේ මෙච්චරයි. මම ආදරේ ඔයාට විතරයි.... ඔයාටම විතරයි.” දිනිති ඉකි ගසමින් කීවා.
 අවිශ්කට මෙය තවත් ඉවසිය නොහැකි වුනා. ඔහු දිනිතිව තම උණුසුමට ලංකර ගත්තා. හරියට මම ඔයාව කාටවත් දෙන්නෙ නෑ කියන්න වගේ...  ඒ දෑත් අතර දිනිතිට මහා පවුරක ආරක්ෂිත බවක් දැනුනා. මේ විදියටම ඔවුන් බොහෝ වේලාවක් සිටියා. ඈත ක්ෂිතිජයේ හිරු ගිලී ගියා. අනෙක් පසින් සද පායා එන්නවුනා.... ඔවුන් නිහඩවම ඒ දෙස බලා සිටියා. තරු කැට එකින් එක මතුවුනා. හරියටම ආදරය සද නම් ඒ සද සමගම තරු මතුවුනේ ආදරයේ භාධක වගේ. 8ඒත් සදේ ආලෝකයට අභියෝගයක් කරන්නට තරුවලට බෑ නේ ද?

21 කොටස (03/07/2012)

සදුදා හවස ‍විරසිංහ පත්තරය බලමින් ආලින්දයේ සිටියා.දේවිකා තේ කෝප්පයක් ද රැගෙන ඔහු වෙත පැමිණියා. විරසිංහ තේ එක ගෙන නැවත පුවත්පත දෙස නෙත් යොමුකළා. ඒත් මද වේළාවකින් නැවත හිස ඔසවා දේවිකා සිටි දෙස බැළුවා වෙනදා නම් තේ එක දී නිවස තුලට යනවාවුනත් අද නැවති සිටින්නේ යම් වැදගත් දෙයක් කීමට තිබෙන නිසා විය හැකියයි ඔහුට සිතුනා.

“ඇයි දේවිකා, මොකද අද බර කල්පනාවකින් වගේ?” වීරසිංහ විමසුවා.

“නෑ... මේ පොඩි කාරණයක් කියන්න තියනවා ඒකයි, මම බැළුවෙ දැන් කියනවද නැද්ද කියලා.”
“මට යමක් කියන්න ආයේ වෙලාවල් බලන්න ඕනද? කියන්න මොකක්ද කාරණේ?”

“අපේ මේ දිනිති.... මේ ....පොඩි හාද කමක් හදාගෙන කියන්නේ.”

“අපේ දු? කව්ද කිව්වෙ”

“නිශා දුව කිව්වේ. දිනිති තමා කියලා තියන්නේ මේ ගැන අපිට කියන්න කියලා”
“ඉතින් මොනවා කරන කෙනෙක් ද? කොහේද ගෙවල්?”
“ඉතින් ඔන්න ඔයා කලබල වෙලා නේ... මහ පුදුම දෙයක් තමයි ඒ..ත් මේ යාළුවෙලා ඉන්නෙ අපි දන්න කියන දරුවෙක්... අවිශ්ක.”

“අවිශ්ක... ඒ කිව්වෙ?”
“දිසාගෙයි මංගලාගෙයි දරුවා!”

“මොකක්... ඒක කොහොමද වුනේ?” විස්තරය ඇසු වීරසිංහට අසුනින් නැගිට්ටවුනේ ඉබේටමයි.
“නෑ නෑ ඒක වෙන්න දෙන්න බෑ, අපි මෙච්චර දුරක් ආවෙත් ඒක වලක්වන්න ඕන නිසා නේ.” වීරසිංහ ගෙතුලට යමින් කිව්වා. දේවිකා ද පසුපසින් ගියා.

“ඒක නේන්නං.. ඕක අහපු වෙළාවෙ මට කරකැවිල්ල වගේත් ආවා.”
“හ්ම්.... දිනිතිව ඉක්මණට මෙහාට ට්‍රාන්ස්ෆර් කරවා ගන්න ඕන.ඊලගට අර විකුම් පුතා ගේ යෝජනාව ගැන බලන්න ඕන.” වීරසිංහ කිව්වෙ තීරණාත්මක හඩින්.1

“ඔව් ඔව් එහෙම කරමු. දැම්මම ඕක නැවැත්තුවෙ නැත්නම් හරි අමාරුවක වැටෙන්න වෙනවා. විකුම් පුතාත් එක්ක ටිකක් හිතවත් වෙද්දි ඕවා අමතක වෙලා යාවි. කිසි අඩුවක් නැතුව යසට ඉන්න පුළුවන් ඒ දරුවත් එක්ක ගියොත්. අනික අපේම මිනිස්සු නෙව.” දේවිකා පොහොර එකතුකළා.

එදින රැ වීරසිංහට නින්ද ගියේ නෑ. ඔහුට දිගටම කල්පනාවුනේ අතිත සිදුවීම් ම තමයි. අපි මොහොතක් ඔහුගේ ඒ අතීත පිටු අතරට යමුද?

කුඩා අවිශ්කගේ සැත්කම නිමවී සති කීපයකට පසු නිවසට පැමිණි දා වීරසංහට සිහිවුනා. කිංකිණි සිනා,සිගිති හැඩුම් නැති නිහඩ මුසල බවක් එදා ඒ නිවසේ තිබු අයුරු,මංගලාගේත් දිසාගේත් නෙතු අග ‍තෙත්කල කදුළු බිදු, අදත් ඔහුගේ හදවත කීරි ගස්වයි.

“වීරේ.... මොකද බං මේ අපිටවුනේ? මගේ දරුවගෙන් මට තාත්තේ කියලා කියනවා අහන්න පිනක් නැතුව ගියා බං!...” දරුවා නිවසේ තබා පැමින මිදුලේ අඹ ගස යට දි තමා බදාගෙන දිසා හඩමින් කී හැටි...
“හරි හරි බං උඹ කොහොම හරි දරුවව බේරගත්තා නේ. දැන් දරුවගේ අනාගතේ ගැන හිතලා ශක්තිමත්ව හිටපන්,වෙනදාට වඩා ඒ ශක්තිය දැන් මංගලාටයි දරුවටයි ඕන වෙනවා. අපිත් ඉන්නවානේ” තමා එදා කී සැටි.

ඒත් අද....?

“මම දන්නවා බං... උඹලා අපි එක්ක ඉන්න බව ඒක අපිට හයියක් බං. උඹලා අපි කතා කරගත් දේවල් වෙනස් නොවෙන එක මට සැනසීමක්” දිසා තම මුහුණ දෙස බලා අදිඨනින් කී අයුරු විරසිංහගේ මතක පිටු අතර එලෙසම සටහන්ව තිබුනා.

එදා ඒ කථා බහ දේවිකාට කීවිට ඇගේ මුහුණ අදුරු වු අයුරු ද ඔහුට සිහිවුනා.

“ඔය කියනවා ඇත්තේ අපේ දරුවො ලොකු වුනාම එකතු කරමු කියලා එදා කියපු කථාව වෙන්න ඇති. අනේ එහෙම කරන්නෙ කොහොම ද? මම නං ඒකට එදත් කැමැත්තක් තිබ්බෙනෑ.” ‍එදා දේවිකා කිව්වේ ඇගේ හෘද සාක්ෂියට එකගවම ද යන්න අදටත් වීරසිංහට සැකයි.

“මොකද අද නින්නද යන්නෙ නැද්ද? දේවිකා වීරසිංහ දෙස හැරි විමසුවා.
“නෑ.. මම ටිකක් කල්පනා කර කර හිටියා.”
“දැන් දොළහත් පහුවෙලා. 7නිදාගන්න. එසේ කි දේවිකා වීරසිංහගේ ළය සෙමින් පිරිමැද්දා. විරසිංහත් දේවිකාට අවනතවෙමින් වගේ දෑස් පියාගත්තා.




22 කොටස(08/07/2012)


වීරසිංහ සිතූ ලෙස දිනිතිව හම්බන්තොට ට ස්ථාන මාරු කිරීම ලෙහෙසි වුනේ නැ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් තවත් හේතු කීපයක්ම නිසා එය වැලකුණා. මේ අතර දේවිකාගේ ද වීරසිංහගේ ද පූර්ණ අවසරය සහිතව විකුම් දිනිති නිවසේ සිටින දිනවල ඇය හමුවීමට පැමණියා. දිනිතිට එය මහ වදයක් වුනා. ඒ නිසා ඇය නිවසට යාමත් විවිධ හේතු කියමින් කල් දැමුවා. පසුව විකුම් ඇය හමුවිමට ඇගේ නවාතැනටත් එන්න පුරුදු වුනා. ඒත් එය වැළකිමට අවිශ්කට වත් දිනිතිටවත් බැරි වුනා. ඒ ඔහු ඒ ආවෙ ගියේ දිනිතිගේ දෙමාපියන්ගේ දැනුවත් භාවය ඇතුව බව සියල්ලෝම දැන සිටි නිසයි.මේ අතර අවිශ්කගේ මේ සම්බන්ධය ගැන මලිත් විසින් අවිශ්කගේ දෙමාපියන්ව ද දැනුවත් කළා. පුවත ඇසු සැනින් දිසානායක දැඩිලෙස විරුද්ධ වුනා. විරේලා ද ඊට විරුද්ධ බව දැනගත් විට ඔහුගේ කේන්තිය ඉහවහා ගියා.


“මේ මිනිහට මක් වෙලාද? මම නං ඕකට කොහෙත්ම කැමති නෑ... ඒ පැත්තෙන් ඔච්චර අකමැති වෙද්දී මොකට පස්සෙන් යනවද? අනික මොන වැදගත් කමක් තියන එවුන් ද ඔය?” දිසානායක ආවේගෙට එසේ කීවත් අන්තිම වචන ටික කිව්වේ ගිලගන්න බැරිකමට වගේ. 


අතීතයේ අපමණ හිතවත් කමකින් සිටි ඔවුන්ට එසේ කීම හරි ද...? තම දරුවාට කතා කිරීමට බැරිවන බව දැනගත්විට අනාගතයේ දරුවන් අතර හිතවත්කම දුරදිග යාමෙන් ප්‍රශ්න ඇතිවෙතැයි බිය වු ඔවුන් සෙමින් සෙමින් තම පවුලෙන් දුරස්වු හැටි දිසානායකට සිහිවුනා. වීරේ ද දේවිකා ද රහසේම ස්ථාන මාරු සකසාගෙන හම්බන්තොටට ගිය අයුරු සිහි වුනා. ඒ..ත් තමා වුව ද එවැන්නක් නොකරනු ඇතැයි තම හෘද සාක්ෂියට එකගව එකහෙලා කීමට ඔහුට ද නොහැකි බව ඒ සමගම සිහිවුනා. 


“ඒත් අංකල් දිනිති පණටත්වඩා අවිශ්කට ආදරෙයි ඒක මට සීයටසීයක් විශ්වාසයි.ඒ වාගේ කෙනෙක් ආයේ අවිශ්කට මුණ ගැහෙන එකක් නැ.මේ දෙන්න පතාගෙන ආපු අය කියලයි මටනම් හිතෙන්නේ.”


“කෙහෙල්මල, ආදරේ... පතාගෙන ආවා... ඕව නිකං වචන විතරයි ළමයෝ.දෙමාපියො අකමැති නං ඕව කෙරෙන්නෙ නැ. අනික ඒ ළමයා දෙමාපියන්ට විරුද්ධව යන්න ද, එහෙම යනවා නං ඒ ළමයගෙ ඇති වැදගත්කම මොකක් ද? ඔය දරුවත් ඕවට උල්පන්දං නොදී අපේ එකාව බේරගන්න උත්සාහ කරන්න.”


“අවිශ්ක කියනවා දිනිති නැත්නං වෙන කෙනෙක් බදින්නේ නැ කියලා”


“ඉතිං... ඔහේ හිටපු දෙං... ඔහොම දේවල් කරගන්නවට වඩා ඒක හොදයි.”


“ මලිත් පුතා දැං යන්න. මම අංකල් එක්ක මේවා හෙමිට කතා කරන්නං, දැං මේ කළබලේ එකසැරේ ඔහොම තීන්දු තිරණ ගතහැකියෑ.” මංගලා කතාව මැද්දට පැන කල්පනාකාරීව ගැටලුව ලිහිල් කළා.


දිනිතිත් අවිශ්කත් අතර සම්බන්ධයක් ඇති බව විකුම් ද දනී.ඒත් ඔහු එය නොදන්නවා සේ දිනිතිට ළංවිමට උත්සාහකරයි. දිනක් අවිශ්ක මලිත් සමග විකුම්ගේ හක්මණ පිහිටි වෙළදසැලට ගොස් සියල්ල පැහැදිලි කරනු ලැබුවා. ඒත් ඔහුගේ පිළිතුර වුනේ....


 “ අවිශ්ක මචං මම දන්නවා උඹේ අවුල, ඒ...ත් උඹම හිතපං දිනිති වගේ ලස්සන කෙල්ලෙකුට ඕන හමදේම දෙන්න උඹට පුළුවන් ද කියලා. මමත් මචං ඇත්තටම ඒකිට ආදරෙයි. ඒ ගෙදරිනුත් කැමතියි. දැං මචං තීරණේ ගන්න ඕනා උඹ මිසක් මම නෙවි. උඹ දිනිතිගෙන් ඈත් වුනොත් මට ලේසියෙන්ම පුළුවන් එයාව මගේ පැත්තට හරවගන්න... දුකක් නොදි බලාගන්න.”


ඒ කතාව හරි‍යට අවිශ්කගේ පපුවට යවුළකින් ඇන්නා වගේ දැනුනා. මලිත්ට කේන්ති තරම කෙතෙක් ද කිවහොත් ඔහු ඉදිරියට පැන විකුම්ගේ කමීසයේ කරින් අල්ලාගත්තා.


“නිකං බලු වැඩ කරන්න එපා මිනිහෝ. දෙන්නෙක්ගේ ආදරයක් මැද්දට පැනලා ඒක විනාස කරන්න උඹට ලැජ්ජ නැද්ද. උඹ කොල්ලෙක් නේද?”


එවෙලේ අවිශ්ක පැන මලිත්ව පස්සට ඇදගත්තා.


“උඹ මේ අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව හිටපන්.මගේ දෙපතුල්ගාවට එන බල්ලෙකුට බළලෙකුටවත් මම අතක් උස්සන්නෙ නැති නිසා උඹ අද බේරුණා කියලා හිතාගනින්. හැබැයි එකම සමාව මම දෙපාරක් දෙන්නෙත් නෑ කියලා මතක තියා ගනින්. විකුම් කමීස කර සකසමින් කිව්වා.


ඒ සිද්ධියෙන් පසු විකුම් දණ්ඩකින් පහරලත් නාගයෙකු සේ වුනා.ඔහු නිතරම දිනිති මුණගැසීමට පැමිණියා.දිනිති කීප දිනක් තමා ඔහුට කැමති නැතිබව මුණටම කිව්වා. ඒත් තමාට දෙමාපියන්ට විරුද්ධ විමටත් නොහැකි බව දැන සිටියා. අඩුම තරමින් අවිශ්කගේ දෙමාපියන්වත් මේ සම්බන්ධයට කැමතිව සිටියානම් කොච්චර හොදද? ඇයට සිතුනා.


 එක් සති අන්තයක දිනිති නිවසට යනබව දැනගත් විකුම් ඇගේ දෙමාපියන්ගේ ද අවසරය ගෙන ඇය නිවසට ඇරලවීමට මාතර පැමිණියා. එදා දිනිති රාජකාරි නිමවි අවිශ්ක හමුවිමට සිතා මගට බැස්සා.කොටු  දොරටුව අසල අවිශ්ක සිටියා.ඇය සිනා සෙමින් අවිශ්ක වෙත යන්න පිටත්වුනා. එකවරම විකුම්ගේ මෝටර් රථය ඇය පසුපසින් පැමින ඇගේ මග හරස්කර නතර කළා.


“ගෙදර නේ යන්නේ. යං මාත් අද ඒ පැත්තෙ යනවා.”


“නෑ ඔ.. ඔයා යන්න මං වෙනදා වගේ බස්එකේම එන්නං.”


“මොකද මේ... මම ඔයාලයි ගෙදරට කියලා ආවේ. ඔයාට විශ්වාස නැත්නං ඔහොම ඉන්න මම ‍ඔයාලයි අම්මට කතා කරන්න.”


එසේ කි විකුම් දිනිතිගේ නිවසට ඇමතුමක් ගත්තා.ඇගේ මව ඒ ඔස්සේ කතා කොට විකුම් අයියා සමග එන ලෙස දිනිතිට කීවා.


“දැං හරිනේ දැන්වත් නගින්න.”


දිනිති මදක් මෑත් වි අවිශ්ක දෙස බැළුවා. අවිශ්ක තමා සිටි දෙසට එමින් සිටිනු දුටුවා. අවිශ්ක දිනිති ළගට පැමිණ කිම් දැයි විමසා සිටියා.


“මම දැං යන්නං.... ස සදුදා මිට් වෙමු. දිනිති හැඩුම් ස්වරයෙන් කියා රථයේ පිටුපස හිද ගත්තා.


“අපි යන්නං ඈ...” එසේ කි විකුම් රථය රේස් කර ඉදිරියට ධාවනය කලා.


මේ කිසිත් තේරුම්ගත නොහැකිව අවිශ්ක බලාසිටින අයුරු පිටුපස බැළූ දිනිතිට පෙනුනා. ඇගේ නෙතින් නික්මුනු කදුළක් කම්මුල තෙත්කර රථයේ අසුන මත වැටි නොපෙනී ගියා.