ඔබ මට තරුවකි

Saturday, February 22, 2014

ඔබ මට තරුවකි 38

38 කොටස


“දිනිති මම පොඩි දෙයක් අහන්න හිත නරක් කරගන්නේ නෑ කියන්න.” විකුම් දිනිති දෙස හැරී විමසුවා
.

“මොකක් ද.. ඕන දෙයක් අහන්න”


“මේ..... ඔයාට අවිශ්කව එහෙම මතක්වෙන්නෙ නැද්ද?”


විකුම් ගේ එම පැනය දිනිතිට නොසිතුවිරූ ප්‍රහාරයක් වගේ වුනා. ඇය ඉබේටම නැගිට්ටවුනා.ඇය විකුම්ට පිටුපා ‍ඉස්තෝප්පු කනුවකට බර දුන්නා.


“ඇයි ‍ඔයා කතා නැත්තේ?” තමාගේ පැනය මෙවන් මොහොතක ඇසීම කෙතරම් නුසුදුසු ද? ඇගේ සිත කෙතරම් රිදෙන්නට ඇති ද? වැනි ප්‍රශ්න විකුම් ගේ සිත පුරා නැගෙද්දී ඔහු විමසා සිටියා.


“දැන් කුමක් කළ යුතු ද, ඇත්තටම තමාට අවිශ්ක සිහිපත් නොවන්නේ ද... නැත යනුවෙන් පැවසීම කෙතරම් මුසාවක් ද? අද දිනද බසයේ එද්දී පාරේ ගිය යතුරුපැදිකරු තමා දුටුවේ අවිශ්ක ලෙසින් නොවේද?”


“ඇයි ඔයා දැන් එහෙම දෙයක් ඇහුවේ?” දිනිති යන්තමින් ප්‍රතිපැනයක් නගා ගැලවෙන්නට උත්සාහ කලා.


“දැන් මොකද කරන්නේ... ආයෙත් දවසක මේ ගැන කතාකරලා දිනිතිගේ හිත රිද්දලා මාත් නිකං විදවනවට වඩා පටන්ගත්තු එකේ අදම මේ කතාව කියලා දාන්න ඕන.”


“නැ... මේ මං... නිකමට වගේ ඇහුවේ...”


ඒත් කියන්න ඕන දේ  කියාගන්න බෑ නේ...


“එහෙනම් ඔය දේවල් ආයේ 0කතාකරන්න ඕන නෑ විකුම් අයියේ”


“දිනිති... එහෙම නෙවි... මම කියන්නේ .... මේ ... අවිශ්ක ඔයාගැන තාම හිතනවා කියලා මට තේරෙනවා ඒකයි...” විකුම් අපහසුවෙන් වචන ගැලපුවා.


“එයා හිතුවත් ඔයා හිතුවත් මම හිතුවත් දැන් ඒවා සිතුවිලි විතරයි. අපි දෙන්න දැන් කසාද බැදලා ඉවරයි.. ඔයාට මක් වෙලාද මේ?” දිනිති තරහින් යුතුව පැවසුවා.


“ඉතින් ඔයාට තරහ යන්න තරං දෙයක් මම කිව්ව ද? පොඩ්ඩක් සන්සුංවෙලා මම කියන දේ අහගන්නකෝ.."


“මොනවා අහන්න ද.... ඔයා මොනවද දැං මේ කියන්න හදන්නේ” දිනිති දෑත් ද එක්කර බැදගෙන් විකුම් දෙස හැරුනා.


“ඉදගන්න මං ලගින්”


එවර දිනිති දැරියක සේ විකුම් ලගින් හිදගත්තා.


“දිනිති... මම ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුං ගත්තේ ලෙඩ ඇදට වැටුනායිං පස්සෙයි. මට තේරුනා ඔයාලා දෙන්න කොච්චර නං ආදරෙන් හිටියද කියලා.ඔයා අවිශ්කගේ තියන අඩුපාඩුව තඹේකට ගනං නොගෙන කරපු ආදර පරත්‍යාගය මට දැනුනේ ඒ වගේම පරිත්‍යාගයක් ඔයා මං වෙනුවෙන් කරනකොට තමයි. මට මං ගැනම දැං තියන්නේ පුදුම තරහක්.... මම ඇත්තටම ඔයාට ගැලපෙන්නෑ දිනිති.. ගැලපෙන්නෑ... මම ඒක අවිශ්කටත් කිවුවා. අපි දෙන්නා නීතියෙන් විවාහ වුනා විතරයිනේ.... ඒ නීතියම අපිට වෙන්වෙන්නත් ඉඩ ඉතුරු කරලා තියනවා.”0 විකුම් දිනිතිගේ හිස පිරිමදිමින් මෙසේ කියන අතර දිනිතිගේ නෙත් කදුළු වාන් දමමින් තිබුනා.


ඇය නෙත් පිස දමමින් නැගී සිටියා..


“විකුම් අයියා... ආදරේ කියනදේ ඔයා තාම තේරුං අරන් නෑ.... මම හිතන්නෑ මම තේරුම් අරන් ඉන්නෙ කියලා... ඒත් මම තේරුම් අරන් තියන විදියට නං ඒක එහාට මෙහාට වීසි කරන, ගල්ගෙඩියක් වගේ දෙයක් නෙවි. ඒක මිනිස් සිතුවිල්ලක්... උතුම් සිතුවිල්ලක්... ඔයා... ඔයා...” දිනිතිට ඉකි ගැසුනේ තරහ වැඩිකමට ද දුක වැඩිකමට ද කියලා ඇයටම නිනව්වක් නෑ.


“මම යනවා..” දිනිති අත් බෑගය  උරහිසේ රදවාගනිමින් මිදුලට බැස්සා.


“දින්... දිනිති.. පොඩ්ඩක් ඔහොම ඉන්න.... මම ඔයාට...” විකුම් දිනිති නවත්වාගැනීමට අසුනින් නැගිට්ටත් එකවර එය කිරීමට ඔහුට අපහසු වුනා.. දිනිති පසුපස නොබලාම මාවත දෙසට කඩිනමින් පියමැන්නා.

විකුම්ගේ හඩ ඇසුනු ඔහුගෙ මව ආලින්දයට දිව ආවා....


“මොකද පුතා මේ... කෝ දුව?


විකුම්ගේ මුනිවතත් නෙත්වල රතත් දුටු ඇයට මෙතන යම් දබරයක් වූවාදැයි සැකයක් මතුවුනා.


“මොකද වුනේ? අර කෙල්ලට හිතරිදෙන්න මොකුත් කිව්ව ද? අනේ පුතේ උඹට මක්වෙලාද.. කියපං කෝ?


“දිනිති ගියා අම්මේ... දිනිති ගියා....” විකුම් දෝතින් මුහුණ වසාගෙන තම හිත පුපුරා යන වේදනාව හැඩුම්පිරි සුසුමකින් පිට කලා.1


“මොනවා පුතේ.... ම..මට මොකුත් තේරෙන්නෙ නෑ ... මෙච්චර මේ ආදරෙන් ආපු කෙල්ල ගියා?!”


“ඔව් ගියා... යන්නම ගියා...” විකුම් අසුනින් නැගිට සිය කාමරය දෙසට යමින් ම කිව්වා.


“මොන විකාර කතා ද මේ.... උඹ මොනවද ඒ කෙල්ලට ඔහොම යන්න තරං කිව්වේ?


“කියන්න පුළුවන් ටික කිව්වා.... අනේ අම්මේ මට පාඩුවේ ටිකක් ඉන්න දෙන්න.” විකුම් කාමරයට වැදී දොර වසා ගත්තා.


*******************


දිනිති මාතර බලා යන බස්රථයට ගොඩවුනා.එහි අසුන් ගත් ඇය ජනේල වීදුරුවට හිස බර කර කල්පනාවක නිමග්න වුනා.


“විකුම් මහ පුදුම මනුස්සයෙක්.... ආත්මාර්ථකාමියෙක්.... එයාගෙ හිත හදාගන්න අනුන්ට දුක්දෙන කෙනෙක්.... නෑ නෑ එහෙමමත් නෑ... අනේ මම දන්නෙනෑ.... අවිශ්ක හම්බවුනා කිව්වා... එයා මං ගැන හිතනවා කිව්වා ලු... මොනවද මේ කියන්නේ... මේ දෙන්නා මාව සෙල්ලමකට අරං ද? නෑ අවිශ්ක කවදාවත් එහෙම කරන්නෙනෑ. එතකොට විකුම්? ඇයි අවිශ්ක ගැන තියන ඒ විශ්වාසය විකුම් ගැන නැද්ද?” දිනිතිගේ උඩු සිතත් යටි සිතත් කරන මේ වාදය ඇත්තටම අවශ්‍ය දෙයක් ද? එයයි මිනිස් සිතේ ස්වභාවය... එක් අරමුණක තැබිය හැකිනම් ඒ නිසසල සිතක්ම පමණි.
(උපුටනය තහනම්-කිරිපැණි)