ඔබ මට තරුවකි

Saturday, August 18, 2012

ඔබ මට තරුවකි 23,24

23 කොටස (17/07/2012)
දිනිති සහ විකුම් නිහඩවම ටිකදුරක් ගමන් කලා.රථයේ ගුවන්විදුලි යන්ත්‍රය පාළු කපන්නවගේ ගී රාවය මුසුකලා.දික්වැල්ල පසුකල පසු විකුම් රථයේ වේගය අඩුකළා. පාරේ පසෙකට කර නැවැත්වූවා.

“දිනිති එන්න ඉස්සරහට, අපි ටිකක් කතා කරකර යමු. මට නං කම්මැලියි.”
“මොනවා කතා කරන්න ද, මටනං කතාකරන්න දේවල් නෑ. අපි ඉක්මනට යමු. රෑ වේගෙන එනවා.”

“ඔයාට නැතිවුනාට මටනං ඕනතරං දේ තියනවා කියන්න. ඒවා කියන්න මම සැරින් සැරේ පිටිපස්ස බැලුවොත් අපිට ගෙදරනෙවි යන්න වෙන්නෙ හොස්පිට්ල්.... හොදළමයා වගේ එන්නකො ඉස්සරහට.”
“මේ විදියට මෙයත් එක්ක තර්ක කර කර සිටියොත් අද යන්න වෙන්නෙ මහ රෑට තමයි” එහෙම හිතපු දිනිති රථයෙන් බැසවිත් ඉදිරිපස අසුනේ හිදගත්තා.

“හරි... කියන්න තියන සේරම කියලා ඉවර කරන්න. මම අහන් ඉන්නං.”
“හොදළමයා... දැං යං”
රථය ඉදිරියට ධාවනයවුනා.විකුම් වරින්වර දිනිති දෙස බැලුවා. “තරහින් හිටියත් කොච්චර ලස්සන ද....ෂිහ්... අර මැට්ට නොහිටියා නං දැනටත් මං මෙයාව මගේ කරගෙන නේ. මම යන යන තැන මෙයාව මේ විදියට අරං යනවා නේ...” ඔහු ඒ විදියට හිතුවා.
ඒත්... දිනිති, ඈට නම් මේ ගැන වගේ වගක් නෑ. ඈ කල්පනා කරන්නේ අවිශ්කගේ සිත රිදවීමට සිදුවීම ගැනයි. “අවිශ්ක ගෙදර ගියාද දන්නෙ නෑ...අපරාදේ මට ටිකක් ඉදලා විස්තරේ කියලා එන්න තිබ්බෙ. ඒත් කොහොම කියන්න ද මේ ගොන් තඩියා වාහනේ හරස් කරගෙන හිටියානේ. මිනිස්සුත් බලබලා ගියා. හ්ම්.... සදුදට කොහොම හරි හිත හදන්න ඕන.”

තංගල්ල පසුකරද්දි විකුම් රථයේ වේගය බාල කළා.

“අපි මොකුත් බීලා යමු ද?” විකුම් විමසා සිටියා.

“නෑ ඕන නැ. ගෙදර ගිහින් බොන්න පුළුවන්.ඉක්මනට යංකෝ”
“ඉක්මණට යන්නෙ කොහොම ද මගදිගට ට්‍රැෆික් අයියල නේ. ඔයා හදන්නේ මේ අහිංසක මට දඩ ගස්සවන්නද?... මට නං හරිම තිබහයි.”

“දඩ නෙවි මෙයාට ගස්සවන්න ඕන.. මේ කරනදේවල් වලට. මේක අද යන ගමනක් නෙවි වගේ.. ” දිනිති සිතුවා.
විකුම් රථය හෝටලයක් තුලට හැරවුවා... 

මේ අතර අවිශ්ක දරාගන්න බැරි වේදනාවත් දරාගෙන සිය යතුරුපැදියට ගොඩවුනා.ඒත් දැං යන්නෙ කොහේද, කුමකට ද කියා ඔහුට හැගීමක් තිබුනෙ නෑ. ඔහු එය නැවත හරවා ‍ගෙන ඉදිරියට ධාවනය කළා.සෙමින් සෙමින් ඔහු වෙරළ පාරට පැමිණියා. “දැන් කොහාට ද?” ඔහු එළියකන්ද දෙසට ධාවනය කළා. වෙනදා දිනිතිත් සමග හිදිමින් පෙම් කළ අසුන් මත වෙනත් ජෝඩු හිදගෙන සිටියා. සිරිල් ඔවුන්ට කඩල විකුනමින් ඇවිදින අයුරු දුටුවා.

“නෑ... මේක හරියන්නෙ නෑ. මම පස්සෙන්ම යනවා. ඉක්මන් ක‍ළොත් මගදි අල්ලගන්න පුළුවන්. එහෙම කරළා ගෙදරට යනකල්ම පස්සෙන් යන්න ඕන.දිනිතිට මොකුත් කරදරයක් වෙන්න දෙන්න බෑ.” අවිශ්ක සිතුවා.

එසේ සිතු ඔහු යතුරු පැදියේ වේගය වැඩි කළා. කවදාවත් ධාවනය නොකළ අයුරින් වාහන අතරින් වෙට්ටු දමමින් ඉදිරියටම ධාවනය කළා.දෙවිනුවර, ගන්දර, දික්වැල්ල ගම් පසු වුනා. ඒත් විකුම්ගේ රථය පෙනෙන මාණයක තිබුනේ නෑ.

“ෂහ්... මම කල්පනා කර කර ඉන්නෙ නැතුව දිනිතිලත් එක්කම පිටත්වුනා නම් හරි... අපරාදේ...”ඔහු සිතුවා. ඔහු තවත් වේගය වැඩි කළා.... 

මලිත් නිශාට ඇමතුමක් ගත්තා.ඒ අද හිසරදය ඇතිවිම නිසා කෙටි නිවාඩුවක් ද ගෙන ගෙදර ගිය නිසයි. අද මලිත්ට ඈ හමුවීමටවත් නොහැකි ලෙස කඩේ සෙනග සිටියා. අද ගුරුවරුන්ගේ පඩි දිනයයි. ඔවුන් චෙක් පත ‍කඩේට දී අවශ්‍ය බඩු සහ ඉතුරු මුදල් ගැනිමට පුරුදුව සිටියා.“නිශා කොහේද ඉන්නේ? ගෙදර ගියා ද?”
“ඔව් මම ගෙදර ඉන්නේ.”

“කොහොමද ඔළුවෙ කැක්කුම අඩු ද?”
“ඔව් දැන් ටිකක් සනීපයි.”

“හ්ම්.. ඒක නෙවි අවිශ්කයා තාම ආවෙ නැ නෙ. දිනිති මීට් වෙන්න ගියේ. වෙනදා මේ වෙළාවට අපේ කඩේ ගාවට එනවා.”

“ඇත්තද? මම දන්නෙ නැ. දිනිතිත් වෙළාව ගැන ගැන හිටියේ මීට් වෙන්න යන්න.”
“මොකුත් ප්‍රශ්නයක් වුනා ද දන්නෑ.අපිට වගේ නෙවි උන් දෙන්නට හරියට ප්‍රශ්න. ඒ අතින් අපි වාසනාවන්තයි”
“ඒක ඇත්ත මලිත්,ගෙවල්වලින් අකමැති නොවුන එක ලොකුදෙයක්.. මම දින්ට කෝල් කරලා බලලා ඔයාට කෝල්බැක් කරන්නං”

“හ්ම්... අපිවත් උන්දෙන්නට හෙල්ප් කරන්න එපායැ... ඉක්මණට කොල්බැක් කරන්න බබා ඕකේ!?”
“හරි අයියේ” එසේ කී  නිශා ඇමතුම විසන්ධි කර දිනිතිගේ අංකයට ඇමතුමක් ගත්තා....


24 කොටස (28/07/2012)

රථය නතර කළ විකුම් ඉන් බැසවිත් දිනිති සිටිනපස දොර විවර කළා.
“කෝ... ඉතින් බහින්න. අපි තේ ටිකක් බීලා යමු.”

“මට ඕන නෑ, ඔයා ගිහින් බීලා එන්න.”

“ඒ මොන විකාරයක් ද? යමු යමු. ටක්ගාලා එමු. ඔයා එන කල් මම යන්නෙත් නෑ”

විකුම් සමග හෙට්ටු වෙවී සිටීමෙන් රැ වෙන්න‍නේ තමන්ටම නිසා දිනිති අකමැත්තෙන්ම රථයෙන් බැස තේ මේසය වෙත ගියා.විකුම් ගේ ඉල්ලීම පරිදි කෙටි කෑම සහ කිරි කෝපි මේසය වෙත පිරිනැමුනා.

“දිනිති, මම මේ ඇත්තමයි කියන්නෙ. ඔයා ගැන මගේ හිතේ ගොඩකාලයක් තිස්සේ බලාපොරොත්තුවක් තිබ්බා. මම ඒක ඔයාට කියන්න හදිස්සි නොවුනේ ඔයා කවදාවත් අම්මලාට පිටින් අෆෙයා එකක් පටන් ගන්නෙකක් නෑ කියලා හිතපු නිසයි.”

“දැන් ඕවා කියලා වැඩක් නෑ විකුම් අයියේ , ඔයා වෙන හොද කෙනෙක් හොයාගන්න.” දිනිති කිව්වා

“ඒක කොහොමටවත් කරන්න බෑ.. මං ඔයාට ආදරෙයි. ඔයාම හිතන්න අවිශ්ක එක්ක ගිහින් දුක් වදින එකේ තේරුමක් තියේ ද කියලා.... අනික ඔයාලයි ගෙදරින් ඕකට කීයටවත් කැමති වෙන්නේ නෑ.”

මේ කථා අසා සිටිය නොහැකි තැන දිනිති අසුනින් නැගිට නැවත වාහනයට ගොඩවුනා. විකුම් ද තරහින්ම පැමින වාහනයට ගොඩවී වේගයෙන් වාහනය පාරට යොමු කළා.

මේ අතර දිනිතිව සොයමින් පැමිණි අවිශ්ක හොටලයේ සිට රථය පාරට දමනු දුටුවා.දිනිතිත් අවිශ්ක ව දුටුවා.

“මොනවා! අවිශ්ක!!... එයා අපි පස්සෙන්ම ඇවිත්. අනේ දෙවියනේ.... පව්.”දිනිති සිතනවාත් සමගම ඇගේ දුරකථනය නාද වුනා.

“හෙලෝ...නිශා, ඇයි?”
“  දින් ඔයා කොහේද?”

“මම තාම යන ගමන්”
“අවිශ්ක මීට් උනා ද?” 

“ඔව්.. ඒ..ත් කථා කරන්න වුනේ නෑ.... මම මේ විකුම් ගේ වාහනේ ගෙදර යන ගමන්... අනේ බලන්නකෝ අවිශ්ක අපි පස්සෙන්ම ඇවිත්.”  දිනිති එසේ කී විට තමයි විකුම් අවිශ්කව පැති කණ්ණාඩියෙන් දුටුවේ.

“ආ හරි හරි දින්, මම කෝල් කලෙත් අවිශ්ක පරක්කු මොකද කියලා මලිත් අහපු නිසා... ඔයා ගිහින් මට කෝල් කරන්න.” නිශා ඇමතුම විසන්දි කලා.

“ඔන්න දිනිති හයියෙන් අල්ලගන්න. අපි රේස් එකක් යන්නයි හදන්නේ” විකුම් එසේ කියමින්ම රථයේ වේගය වැඩිකලා. ඉද්දගැසුවාක් සේ ඇති මාර්ගයේ රථය එක පිම්මට ඇදුනා.

අවිශ්කත් වැඩේ අතහැරියේ නෑ යතුරු පැදියේ වේග මාපකය 70... 80... 90 පසු කලා. යතුරුපැදිය පාවෙන බවකුත් දැනුනා.

ඒත් විකුම්ගේ රථයේ වේගය ඉක්මවීම අපහසු බව තේරුනා. දැන් නම් යතුරුපැදිය පැද්දෙන්න ගත්තා.ඔහු වේගය අඩුකලා.විකුම්ගේ රථය පෙනෙන මානයක තිබෙන සේ තබාගෙන ඒ පසුපස ඔහු ගමන් කලා.

“හූ..හ්... ඔන්න ඕක තමයි නංගි අවිශ්කට මේ ආදරකතාවෙදි වෙන්නෙත්.” විකුම් උපාහාසාත්මකව දිනිති දෙස සිනාසෙමින් බලමින් කිව්වා.

සවස 6.30 වෙද්දි විකුම් සහ දිනිති නිවසට පැමිනියා.දිනිති ‍කිසිවකු සමග කතා නොකරම කාමරයට ගියා.විකුම් ද මදවේලාවක් කතාකරමින් සිට රැ කෑම කන්න යයි පෙරැත්ත කරද්දී ම ගෙදර අම්මා තමා එනතුරු නොකා සිටින බව පවසා පිටත්ව ගියා.

“දිනිති මොකද මේ ආපුවෙලාවෙ ඉදන්ම ඇදේ?... යමු.කෑම කන්න.” මව පැවසුවා.
“මම පස්සෙ කන්නම්... මහන්සියි.” දිනිති ඇදේ සිටම කීවා.

කෑම ගැනීමට පෙර දිනිති අවිශ්කට කෙටි පණිවිඩ යැව්වත් පිළිතුරක් තිබුනේ නෑ.ඇය බත් කටක් දෙකක් බොරුවට කා ඇදට ගියා.

රැ 10.30ට ඇගේ දුරකථනය නාදවුනා.... කෙටි පණිවිඩයක්...අවිශ්කගෙන්!

“Mama oyalage gate eka langa inne. Dan enna puluwanda?”

ඒ දුටු සැනින් දිනිති ඇදෙන් නැගිට්ටේ විදුලි වේගයෙන්. ඈ නිවසේ පිටුපස දොරෙන් පිටතට පැමිණියා.කඩුල්ල දෙසට දිවගියා.අවිශ්ක කඩුල්ල අසල සිටගෙන සිටියා. ඈ සෙමින් එය විවර කලා.

අවිශ්කගේ අතින් අල්ලාගෙන සේපාලිකා මල් ගස යට වූ බංකුවවෙත කැදවාගෙන ආවා.අවිශ්ක හොදටම ‍වෙහෙසට පත්වී සිටියත් ඔහුගේ මුහුණේ ආදරය පිරිලා තිබුනා.

“ඔ...ඔයා...මෙච්චර.. දිනිති වදන් ගලපද්දි අවිශ්ක සිය ඇගිල්ලකින් ඇගේ දෙතොල් වැසුවා. පසුව ආදරයෙන්  සිපගත්තා.

එදා පායා තිබූ අඩ සද සිය රශ්මිය නිසා මේ සොදුරු ආදරවන්තයන් ලොවට හෙලිවේදෝ බියෙන් මෙන් වාලාකුළු වලින් සිය ආලෝකය වසා ගත්තා.රැය සුවද කල සේපාලිකා මල් කැකුළු මේ දෙපල වරින් වර වෙලා ගත්තා...