ඔබ මට තරුවකි

Monday, March 12, 2012

ඔබ මට තරුවකි 4,5,6

04 කොටස

“මේ පන්තියට නම් අවශ්‍ය අලුත් ඩෙස් බංකු ටිකක් තමයි” විදුහල්පතිනිය පන්තියේ ළමුන් දෙස මදහසින් යුතුව බලන ගමන් පැවසුවා. 

නිශා සිටියෙ දිනිතිට පිටුපසින් පන්තිය දෙස බලාගෙනයි. නිකමට වගේ දිනිති දෙස බැලූ නිශාට අමුත්තක් තේරුනා. දිනිතිත් අවිශ්කත් තවමත් එකිනෙකා දෙස බලාගත් ගමන් ඉන්නෙ.
“මේකිට මක් වෙලාද?” එහෙම කල්පනා කළ නිශා විදුහල්පතිනිය ඒ දෙස හැරෙන්න පෙර දිනිතිගේ උරහිසට අතතිව්වා. එකවර ගැස්සුනු දිනිති පියවි සිහියට ආවා.
විදුහල්පතිනිය නැවත ඇයවෙත හැරෙනවිට දිනිතිගේ මූණ රතුවෙලා, අපහසුවෙන් සිටනබව පෙනුනා.ර

“ඇයි මිස් මොකුත් ප්‍රශ්නයක් ද?”
“නැ...ඇ ඇයි මැඩම් එහෙම ඇහුවේ?” දිනිති මොකුත් නොවුන ගානට අහුවා. මේ වෙලාවේ අවිශ්කගෙත් කන්පෙති රතුපාට වේගෙන එනහැටි නිශා නම් දැක්කා.
“නැ මිස් ටිකක් කලබල වෙලා වගේ නිසා ඇහුවේ”

“අහ්.. මැඩම් මේ මිස් ෆීල්ඩ් වැඩවලට අලුත්, ඒ නිසා වෙන්න ඇති” නිශා පොඩි වෙට්ටුවක් දැම්මා.
“ආ එහෙම ද?.. හරි අපි යමු අනිත් පන්ති බලන්න.” විදුහල්පතිනිය කිව්වා.
“ඔය ඉස්සරහ තියන්නෙ සංගීත පන්තිය.අද ඒ මිස් නෑ දරුවා අසනිප වෙලා.හෙට නම් ඒවි. ඒ පන්තියට තමයි ගොඩක් අඩපාඩු තියන්නෙ. මිස්ලට හෙට එන්න බෑ නේ? මම ඒ මිස්ට කියන්නම් අඩුපාඩු ලැයිස්තුවක් හදන්න කියලා. එතකොට කවුරුහරි අතේ ඩී.එස්. ඔෆිස් එකට එවන්න පුලුවන්නේ.”
“ආ එහෙම හොද.....”නිශා කියන්න යනදේ ඉවර කරන්න කලින්,
“අපිට හෙට එන්න පුලුවන් නේ නිශා”දිනිති හොර බැලළියෙක් වගේ කිව්වා.
“ආ..ඔ..ඔව් ‍එන්න පුලුවන්.... ආණ්ඩුවේ තෙල් නේ!?”නිශා හිනාවෙලා කියන ගමන් දිනිති දෙස අමුතුවට බැලුවා.
“මොන පුදුමයක් ද මේ වෙන්නේ.. තලගොයා හුඹහෙන් අදිනවා වගේ මේකි එළියට ගත්තෙ.දැන් හෙටත් එන්න කතාව,යමං කො මෙතනින් එළියට.මං දැනගන්නං මොන සමයමක් ද වැහුනේ කියලා.”නිශා හිතා ගත්තා.

“එහෙනං අපි ගිහින් හෙට එන්නම්.අර මිස් හෙටත් නාවෙත් අපිට කොල් එකක් දෙන්න මැඩම්”දිනිතිත් නිශාත් ආයෙත් වාහනය වෙත පියනැගුවා.
“මොකද බං උනේ?” නිශා අහුවා.
“මොකද?”
“අර සර් එක්ක අනිමිස ලොචනේ කරන්න හැදුවේ,අනික හෙටත් එමු කිව්වේ”
“මේක අර්ජන්ට වැඩක් කිව්වෙ ඔයාමනේ.ඉතින් කල් නොදා අපි මේක කරන්න ඕන නිසා මං හෙට එමු කිව්වේ.”
“ආ.. හා හා හරි හරි මට අමතක උනා මේක අර්ජන්ට බව, ඒකයි මේ.. එතකොට අර සර් දිහා බලං කරෙත් එහෙම වැඩක් වෙන්න ඇති.යන්තන් ප්‍රින්සිපල් දැක්කෙනෑ.නැත්නං උඹත් ගන්නවා එතන වැඩට.සංඥා උගන්නන්න.”ස
“උඹට පිස්සු,මං එහෙම බලං හිටියේ නෑ”
“හ්ම්.. නෑ උඹ නෙවි මමනේ බලං හිටියේ,කෙල්ලේ එනපොට හොද නෑ...!”එහෙම කියපු නිශා හිනාවෙලා ඇසක් පුංචි කර දිනිති දිහා බැලුවා.

දෙදෙනා එන විට උපාලි ‍සිහින ලොකේ සැරිසරමින් සිටියා.

05 කොටස.

එදින හවස අවිශ්ක ගෙදර ගියේ ඔලුවේ මහා බරක් පුරවගෙන.

මොකක් ද අද මට සිද්දවුනේ...? මොකක් ද මේ අමුතු හැගීම? අවිශ්ක කල්පනා කළා. ඔහුට මෙවැන්නක් සිදුවුනු පළමු දිනය මේක. කලින් ඔහුට ඕව හිතන්න කාලයක් තිබුනේ නෑ.තම අඩුපාඩු යටපත් කරගෙන අධ්‍යාපනය සාර්ථක කරගන්න තියනවා කියන බැරැරුම් ප්‍රස්තුතය ඔහු ඉදිරියේ නිතර තිබුනා.ඒ නිසාම වෙනත් කිසිවක් ඔහුට වැදගත් වුනේ නෑ.

අවිශ්ක ඇදේ හාන්සිවෙලා තමන්ට විතරක් ඇසෙන ගානට දැමූ රේඩියොවෙන් ගීතයක් අසමින් තවදුරටත් අද සිදුවු සිදුවීම් මෙනෙහි කළා. “පෙම් සිලිලාරේ තුන්සිත ඉතිරී විහිදී විසිරෙන්නා...” ඔහුගේ සිත කියවන්න වගේ ගුවන්විදුලිය ගීතයක් මිමිනුවා.ට

“අවිශ්ක මතක ඇතුව හෙට සංගීත මිස් ආපු ගමන් දැනුම් දෙන්න අවශ්‍ය අඩුපාඩු ලැයිස්තුවක් හදන්න කියලා,අර මිස්ලා හෙට එනවා කිව්වා, ඒක හෙටම දෙන්න ඕන.” ප්‍රින්සිපල් මැඩම් කියපු කතාව අවිශ්කගේ මතකයට ආවේ අර නුපුරුදු හැගීමේ කොටසක් වගේ.
“හෙටත් එයා ඒවි ද...?” මෙහෙම කල්පනා කරමින් ම ඔහුට නින්ද ගියා...

                                    පසු දින.

“උපාලි අයියා, ඉක්මනට යමු අදවත් මේ වැඩේ ඉවර කරලා රිපෝට් එක හදන්න පටන් ගන්න ඕන.” නිශා එහෙම කියන ගමන් වාහනයට ගොඩවුනා. දිනිතිත් සරුංගලේ වගේ පාවෙලා ඇවිත් නිශා ලගින් ඉදගත්තා.
“උපාලි අයියා, අද නිශා මිස් දේදුන්නක් වගේ පාට වැටිලා නේද?”
“අනේ මන්දා, ඒ මිස් ඉතින් කවදත් හැඩයි නේ!” උපාලි කිව්වා.

“හ්ම්,ඔව් ඉතින් ඒ මිස් හැඩයි අපි කැතයි.”
“අනේ නෑ දෙන්නම හැඩයි”
“දම්මික හිටියනම් හරි නේද? කම්මැලි නෑ, අම්මට තාම සනීප නැතිලු. එයා නේ අම්මව බලාගන්නෙ.ඉතින් මේ සතියෙම එනේකක් නෑ” නිශා කිව්වා.
පාසල් වත්තේ වාහනය නතර කළ උපාලි පසුපස හැරුනා.දිනිතිත් නිශාත් වාහනයෙන් බැස ප්‍රින්සිපල්ගේ කාමරය වෙත ගමන් කළා.ය

“ආ.. මිස්ලා ආව ද, අදනම් සංගීත මිස් ඉන්නවා. යන්න ගිහින් විස්තර ගන්න.මම කියලා තියන්නේ ඒ මිස්ට” ප්‍රින්සිපල්ගේ උපදෙස් පරිදි දෙදෙනා සංගීත කාමරය වෙත ගියා.
“එක්ස්කියුස් මි!... අපි ආවේ ඩි.එස් ඔෆිස් එකෙන්.”නිශා පංතියේ දොර ලග සිටගෙන කිව්වා.

“ආ.. එන්න මිස්.මම දිස්නා,සංගීත පංතිය කරන්නේ මම තමයි. මම රික්වයමන්ට්ස් ලිස්ට් එක හදලා තියන්නේ. අපිට වැඩිපුරම අවශ්‍ය සංගීත භාන්ඩ තමයි,‍බිම ඉදන් වැඩ කරන නිසා ඩෙස්ක්,බංකු නම් ඕන නෑ.” දිනිතිත් නිශාත් පංතිය තුලට ගොඩවෙන විට දිස්නා මිස් ගීයතක් වගේ විස්තරය දිගහැරියා.
“මේ ළමයි ගොඩක් දක්ෂයි කියලා ආරංචියි.” දිනිති හඩ අවදිකරා.

දිනිතිලා සංගීත පංතියට ගොඩවෙන මොහොතෙම අවිශ්ක ඒ බව දැක්කා,ඔහු උගන්වන්නේ ඉදිරිපස පංතියේ නේ,වරින් වර ඒ දෙස බලමින් සංඥා භාෂා පාඩමක් කියාදෙමින් තමයි සිටියේ. දිනිතිත් දන්නවා එහා පංතියේ අවිශ්ක සිටින බව,ඒත් එකපාර බලන්න බයයි.එයා මේ පැත්ත බලන් සිටියොත්??
“ඔව් මෙයාලා හරි දක්ෂයි, දුව,නිර්මාණී ඔයා ෆ්ලුට් එක අරන් මේ මිස්ලා දෙන්නට ලස්සන සින්දුවක් වාදනය කරලා පෙන්නන්න.” ඇස් නොපෙනෙන කුඩා දැරියක් වෙත ගිය දිස්නා කිව්වා.

“සුහානී රාත් දර් චුකී...” ගීතයේ අනුවාදනය මනෝහර ලෙස එම දැරිය විසින් වාදනය කිරීම ඇරඹුවා.
ගීතය රසවිදිමින්ම දිනිති අවිශ්කගේ පංතිය දෙස බැලුවා,පුදුමයි... එවෙල්ම අවිශ්කත් දිනිති දෙස බැලුවා.නැවත දෙ ඇස් මුණ ගැසුනා.ඒ වා අප්‍රමාණ දේවල් කතා කළා,හැබැයි කාටවත් නො ඇසෙන ලෙස.
නිශා දිනිති දෙස බැලුවේ “හරි ලස්සනයි නේ” කියන්න හිතාගෙන. කෝ.. දිනිති වෙන ලෝකෙක. මේ මොකද මේ අදත්.එහා පංතියේ සර්තුත් මෙහේ බලාගෙන. අතකුත් උස්සගෙන.ඒ ළමයි සර්ගෙන් ඊලග සංඥා වචනේ එනකන් කට ඇරන් බලන්ඉන්නවා. මේක හරියන්නේ නෑ... මේ මිස් දැක්කොත් වස විළි ලජ්ජාවයි. මදක් කල්පනා කළ නිශා දිනිතිගේ කකුල සිය උල් සපත්තුවෙන් පෑගුවා.

“ඌ..හ්” දිනිති කකුල බදන් කෑගැසුවා.

භිතියට පත් සිසුවිය අතින් බටනලාව බිම වැටුනා. අවිශ්කටත් පියවි සිහිය ආවා....

06 කොටස

“ඇයි මිස් මොකද උනේ?” විමතියටපත් දිස්නා දිනිතිගෙන් විමසා සිටියා. දිනිති කර කියා ගන්න දෙයක් නැතිව සෙමින් ඉහළ බලා අමාරුවෙන් සිනාසුනා.

“ආහ්.. ආයෙත් කකුලෙ අමාරුව ආවද?.. නෑ දිස්නා මිස් මේ දිනිති වාහනෙන් බහිද්දි කකුල පෙරලුනා.. ඒ අමාරුව වෙන්න ඇති. නිශා පැනල දුන්නා.

“ඔ.. ඔව් ඒක තමා” දිනිති ලැජ්ජාව පිරුණු මදහසින් යුතුව කිව්වා.
“හයි හීල්ස් (High heels ) දැම්මහම ඔහොම වෙනව මිස්, මම නම් යුස් කරන්නේ නෑ” දිස්නා නිශාගේ ලණුව ගිල ඇතිබව පෙන්වමින් කිව්වා.

අවිශ්කත් නැවත පාඩම පටන් ගත්තා.

තවත් මදවේලාවක් විස්තර කතා කොට නිශාත් දිනිතිත් වාහනය වෙත පැමිණියා.

*************************************************************************************
අවිශ්ක පාසලේ රාජකාරි නිමකර ගෙදරගියේ බලාපොරොත්තු රැසක් වගේම ප්‍රශ්න රැසකුත් 
අරගෙනයි.සුපුරුදු ලෙස ඇඟපත සෝදාගෙන කෑම මෙසයට වාඩිවුනා.බත් හැඳි කිපයක් බෙදාගත් ඔහු කල්පනාවට වැටනා.බත් අනමින් කල්පනා කළා.ය

“එයා කවුද, ඇයි එයා මං දිහා අරවිදියට බලං හිටියේ,ආදරය කියලා හැමෝම කියන්නේ මේකට ද?....මං එයාට ආදරේ කරන්න පටන්ගෙන ද ඒකද මං එයා එනකල් බලං හිටියේ...එයත් මට ආදරේ ද?... නෑ.. වෙන්න බෑ. මං වගේ කතා කරන්න බැරි එකෙකුට එච්චර ලස්සන ‍කෙල්ලක් කැමති වෙන්නේ නෑ...”
“පුතා! මොකද ඔය කරන්නේ.. නිකන් බත් ද කන්නේ?” අවිශ්ක කරන දේ දිහා පසෙක සිට බලාසිටි ඔහුගේ මව විමසුවා.

අවිශ්ක කල්පනා ලෝකෙන් එළියට ආවෙ එවිටයි.පිඟාන දෙස බැලු ඔහු එළවලු මාලු ටිකක් බෙදාගත්තා.ඒත් කන්න උවමාවක් තිබුනේ නෑ.බත් කටවල් දෙකතුනක් කාපු අවිශ්ක මේසෙන් නැගිට අත සෝදාගෙන කාමරයට ගියා.

අවිශ්කගේ සිතේ යමක් තිබෙන බව ඔහුගේ සෙවනැල්ල වගේ ඉන්න අම්මාට තේරුණා.

“දින්.. මොකද බං කෑම එක අතගගා ඉන්නේ කාලා යමන් අපිට තියන්නේ කෑම පැයක් විතරයි” නිශා දිනිති බත් ගුලි එහාට මෙහාට කරමින් සිටිනු දැක කිව්වා.

“මට කන්න බඩගිනි නෑ වගේ නිශා”
“ආ ඇත්ත ද.. ඒ මොකද අනේ ඒ..” නිශා කිව්වේ කට කොණක සිනාවක් රඳවාගෙනයි.

“නිකන්..ඇයි ඉතින් ඒකටත් හේතු ඕන ද?” දිනිති කිව්වේ තම මිතුරිය දෙස නෝක්කාඩු බැල්මක් හෙලමින්.
“අනේ එපා හේතු ඕන නෑ.. අද බඩයි හිතයි දෙකම පිරිලනේ තියන්නේ... මම එකක් කියන්නම් ඔය හදන්නේ උබත් අමාරුවෙ වැටිලා තව අහිංසකයෙකුත් අමාරුවේ දාන්න. ඒ කොල්ලා බලාපොරොත්තු තියාගත්ත ද මන්ද”නිශා ස්ථාවර හඬින් කිව්වා.

“ඔයාට පිස්සු අනේ!” දිනිති නොරුස්නා බවක් පෙන්වමින් බත් එක ද එකතුකර ඔතා ගනිමින් කිව්වා.
“ඔය කාලා ඉවරද, මං කිව්ව දේට තරහා ගියාද.සොරි දින්.... ඔයාම ඩිංගක් කල්පනා කරලා බලන්න. ඔය හිතට ආපු අදහසට කොච්චර දුර යන්නපුලුවන් ද කියලා” නිශාත් එහෙම කියලා කෑම එක එකතු කර ගත්තා.



(අයිතිය "කිරිපැණි" බ්ලොග් අඩවිය සතුය)

No comments:

Post a Comment