ඔබ මට තරුවකි

Monday, March 12, 2012

ඔබ මට තරුවකි 7,8,9

07 කොටස.

සති අග නිවාඩුවට නිවසට ගිය දිනිති රැ කෑම කාලා වේලාසනින් නින්දට ගියා.රැ මැදියම වෙනතෙක් ඒ අත මේ අත හැරෙමින් කල්පනා කරමින් සිටියා.දන්නෙම නැතුව නින්ද ගියා.උදේ හයට විතර ඇහැරුනත් ඇදෙන් බහින්න හිතුනේ නෑ.ඇඳ විට්ටමට කොට්ටය තියලා ඊට බරදිලා සිවිලිම දෙස බලාගෙන අවිශ්ක ගැන සිහින මවන්න පටන්ගත්තා.

“දුව අවදි උනා නම් එන්නකෝ,මූණ සෝදගෙන කෑම කන්න. දැන් හතත් පහුවෙලා.ගෑණු ළමයි ඔහොම ඉන්න නරකයි.”දොර රෙද්ද මෑත් කර කාමරයට එබුනු අම්මා කිව්වා.

තමන් කොපමණ වෙලා මෙ‍සේ කල්පනා කරමින් සිටියා ද යන්න දිනිතිට තේරුණේ එවිටයි.
“අනේ අම්මා,මම මෙහෙම තව ටිකක් ඉන්නම්.අද නිවාඩු නේ.”දිනිති හුරුතල් වෙමින් කිව්වා.
“හා... මෙන්න නාකි හුරුතලේ.. එන්න එන්න.. අන්න මම ඔයා කැමති නිසා කිරිබත් හැදුවා.හරිනම් ඔයා ඕන දැන් අපිට උයලා දෙන්න.බඳින වයසේ කෙල්ලක්නේ දැන් ඔයා...හ්ම් හ්ම්...එන්න එන්න.”

දිනිතිට එකවර නැවත අවිශ්ක පෙනීගියා වගේ වුනා.මූණ රතු කරගත් ඈ මවගේ උරහිසේ එල්ලි හුරුතල් වෙමින් කුස්සිය දෙසට පිය නැගුවා.


අවිශ්ක උභතොකෝටිකයකට හසුවුනා වගේ සිටින සිටින තැන කල්පනා කරමින් ඉන්න පටන්ගත්තා.ඔහු‍ගේ මවටත් පියාටත් මේක මහා හිසරදයක් වගේවුනා.

“කවදාවත් නැතුව පුතා මූණ නරක්කරගෙන වගේ මොක ද?” දිසානායක,ඒ කියන්නේ අවිශ්කගේ පියා සිය බිරිය වන මංගලා ගෙන් විමසා සිටියා.

“ඒක තමා මාත් බැලුවේ...කොහොම දැනගන්න ද ? මට කියන්න බැරි දෙයක් වගේ.නැත්නම් මෙලහකට කියලා”

(මෙහි මා “කියනවා/කියලා”යන්න භාවිතා කළාට මේ කිසිවක් හඩනගා කීමක් නොවන බව ඔබ තේරුම්ගෙන ඇතැයි සිතමි.සංඥා බසින් කීමක් පමණයි.)

ඔවුන් මෙසේ කතා කරමින් සිටිය දි අවිශ්ක නිවසින් බැහැරට යාමට සූදානම්ව ඔවුන් සිටි තැනට ආවා.
“අම්මේ මම මලිත් ගේ ගෙදර ගිහින් එන්නම්” සංඥා බසින් කිව් අවිශ්ක සිය ‍යතුරුපැදියට ගොඩඋනා.
මලිත් කියන්නේ අවිශ්කගේ හොදම මිතුරා කියලා හිතාගන්නකෝ.කලින් හදුන්වාදීමෙදි ප්‍රධාන චරිත අතරට ඔහු ඇතුලත් නොකරේ එයා ගැන විස්තර කතාව අවසානෙදි කීවාම ඇති කියලා සිතපු නිසා.ඔහු ආබාධිත අයෙක් නොවේ.

අවිශ්ක සිය නිවසට ගොඩවෙනකොටම අදනම් කොල්ලා අප්සෙට් මූඩ් බව මලිත්ට තේරුනා. මලිත්ටත් හොදට සංඥා බස පුලුවන්.
“මොකද මචෝ... අප්සට් එකෙන් වගේ?”අවිශ්ක බයික් එක මිදුලේ නවත්තලා එළියේ අඹ ගස යට බංකුව දෙසට යන දිහා බලන් මලිත් අහුවා.

ටිකක් වෙලා කල්පනා කල අවිශ්ක “මට පොඩි ප්‍රශ්නයක් බං” කියලා කිව්වා.(සංඥා බසින්)
“මොකද්ද අවුල?”

“නෑ බං...” අවිශ්ක සිය අදහස හරියට පැහැදිලි කරන්න බැරුව ලතවෙන හැටි මලිත් බලා සිටියා. ඒ එක්කම අවිශ්කගේ මුහුණේ අමුතු සිනාවක් මතුවී එන හැටි ඔහුට පෙනුනා.
“ආ.... අ: ආ.... මට පේන්නේ  දරුවට මල්සරා ලඟින් යන්න විදලා වගේ...” මලිත් හිනාවෙලා කිව්වා.
“උඹට පිස්සු.”අවිශ්ක බංකුවෙන් නැගිට වතුසුදු ගස ලඟට ගියා.

“ආ මේ ළමයා නේ ... මම බැලුවා කාත්එක්කද අපේ එක්කෙනා කතා කරන්නේ කියලා.ඉන්න මම තේ ටිකක් හදන් එන්නම්. මලිත්ගේ අම්මා ස්තොප්පුවට පැමිණ නැවත ගෙට ගියා.
“කවුද බං ඒ කෙල්ල. නම මොකක් ද? කොහේද ඉන්නේ.”

“ඒක දැන ගන්න විදියක් නැතුව තමයි ඉන්නේ. මට උදව්වක් කරපන් මම ලෙටර් එකක් ලියලා දෙන්න උඹ ගිහින් දීපන්...ඒත් මට වෙලාවකට බයයි බං.මේ මම වැරදි වැටහීමක ද ඉන්නේ කියලා. මට දැන් නින්ද යන්නේ නෑ.එයාව මතක්වෙනවා. දවස් දෙකයි දැක්කේ. අනේ මන්දා බං. මට තේරෙන්නෑ.” අවිශ්ක ‍කියලා දැම්මා.
කතා කරන්න පුලුවන් අය උනත් මෙවැනි අවස්ථාවල කොපමණ අපහසුවට පත්වෙනව ද? එහෙම නම් අවිශ්ක දැන් ඉන්නේ කොහොම තත්වයක ද කියලා ඔයාට සිතාගන්න පුලුවන් නේ ද?

08 කොටස

“හෝව් හෝව්.. ඇති ඇති, කලබලවෙන්න එපා.පොඩ්ඩක් හෙමීට ලාස්සනට වැඩේට බහිමු.දැන් කියපන් කවද්ද කොහේදිද ඔය ලළනාවිය මීට් උනේ කියල.” මලිත් අවිශකගේ අතින් ඇදගෙන ඇවිත් බංකුවේ ඉන්දවමින් කිව්වා.

“එයා අපේ ඉස්කෝලෙට ආවා,ප්‍රොජෙක්ට් එකකට..... ඉතින් ඔහොම මුලු විස්තරේම අතින් සහ වතින් සංඥා ලෙස දක්වමින් අවිශ්ක විස්තර කළා.

“මෙන්න දරුවෝ,බොන්න” ඒ අතරේ එතනට පැමිණි මලිත්ගේ මව තේ පිලිගන්වා නැවත නිවස තුලට ගියා.
“හරි, දැන් අපි ඔය ලියුම් දෙන සීන් එක ටිකක් කල්දාමු. ඉස්සෙල්ලා පොඩි මුට්ටිදැමිල්ලක් කරමු. මුලින්ම අපි ටික දවසක් එයා වැඩ ඉවරවෙලා යන වෙලාවට ෆලෝ එකක් දෙමු.ඉන්න තැන එහෙම බලාගන්නත් පුලුවන් නේ.අනික කෙල්ල උඹ ගැන ඉන්ට්‍රස්ටිං ද නැත්නං කරුමෙකට හරි වෙන එකෙක් ඉන්නව ද වගේ දේවල් ටිකක් හොයාගන්න පුලුවන් නේ.” මලිත් කිව්වා.
“හ්ම්... එහෙම කරමු.සදුදම පටන්ගමු?”

“රායිට්...එහෙනම් අදවත් කාලාබීලා අවුලක් නැතුව හිටපන්.බලපං මුණෙ හැටි,හරියට නිකං පහණේ භුතයා වගේ.ලේ පොදක් නෑ.”මලිත් කිව්වේ අවිශ්කගේ මුණටත් සිනහවක් කැන්දමින්.


සදුදා දිනිති වැඩට ආවේ ගෙදර සිටයි.ඇය එසේ එනවිට හැමදාම කැවිලිමොකුත් ගේන නිසා කවුරුත් එය බලාපොරොත්තුව සිටියා.ඇය අත්සන් කර පැමිණ අසුනේ ඉදගත්තා.එවිටම ධම්මික එතනට ආවා.
“හා..! ධම්මික,කොහොමද අම්මාට” දිනිති විමසුවා.

“දැන් හොදයි.තෑන්ක්ස් දිනිති ඔයා මයි ඩියුටිය කවර් කළාට”
ඔන්න එතකොටම නිශාත් කාර්යාලයට ආවා

“ගුඩ් මොර්නිං හැමෝටම”ඒ ඇය සුපුරුදු ලෙස කරන ආමන්ත්‍රණය.
“හා හා ගුඩ් මෝනිං... කෝ දිනිති අද “හෝම්කමිං පාටිය” ධම්මික නිශාට සුභ පතා දිනිති දෙස හැරී විමසුවා.හෝම් කමිං පාටිය කියන්නේ අර කෑමවලට ධම්මික දාපු නමක්.
“ආ.. හානේ මට අමතක උනා නේ,අම්මා මේසේ උඩින් තියලත් දාගෙන නෑනේ.” දිනිති බෑගය අවුස්සමින් කිව්වා.

“ෂා! අපරාදේ මොනවද තිබුනේ”ධම්මික ඇහුවේ අත මිට මොලවා අ‍නිත් අත්ලට ගසන ගමන්.
“දොදොල්”

“බලපංකො මේකි කරලා තියන අපරාදෙක තරම.අර අම්මා සැදැහැසිතින් අපිටම සකස්කරපු පංගුව ගෙනත් නෑනේ...ෂී..ෂි..මාර අපරාදේ”ධම්මික නිශාවෙත හැරී එසේ කියමින් එතනින් පිටවුනා.
“දැන් ඕවා මතක් වෙන්නේ කොහොමද, කෙල්ලට සොයන්න බලන්න දේවල් එමටයි නෙ.නේ..ද දින්”නිශා හිනාවෙවී ඇසෙන නෑසෙන් ගානට කිව්වා.දිනිතිගේ මුණ කවදත් වගේ ලැජ්ජාව කියා පෑවා.

“ආ... ඒ මොකක්ද ඒ.. මම නැති ටිකට හෙන හෙන දේවල් වෙලා වගේ” ධම්මික නැවත හැරෙමින් කිව්වා.
“නෑ නෑ ඒවා අපේ කතා,ඔයා ඔයාගේ වැඩක් බලාගන්න”නිශා නෝන්ඩි සිනාවකින් දම්මිකට සංග්‍රහ කළා.
අවිශ්කගේ සෝදිසි මෙහෙයුමට කුමක් වේවි ද? ඊලග කොටසින් බලමු.

09 කොටස

“දින් අද අර ස්කූල් එකේ රිපෝර්ට් එක ධර්මරත්න සර්ට බාර දෙන්න ඕන. මම ඒක ඩ්‍රා‍ෆ්ට් කළා ඔයත් චෙක් කරලා ටයිප් කරන්න හොදෙයි” නිශා දිනිතිට ඒ විදියට කියලා තම මේස ලාච්චුවෙන් ලිපි ගොනුවක් ගෙන එය දිනිතිට දුන්නා.

“හරි නිශා මම කරන්නම්, මේ ඒක නෙවි දැන් මේ ආධාර භාර දෙන වැඩේට අපිත් යන්න ඕන වෙයි නේ?”
“හිහ්.. හිහ්...හා ඔව් ඔව් ඔයයි මායි නේ ප්‍රධාන ආරාධිතයො ඉතින් නොයා කොහොමද? අනේ දින් මේ විකාර නැතුව ඕක ඉවර කරන්කෝ.ඕක බාර දුන්නාම අපේ ඒ ඩියුටිය ඉවරයි.”
“හ්ම්..” දිනිති සුසුමක් පිටකලා
නිශා දිනිතිගේ හිත දන්නවා ඒත් ඒ හිත දුර ගියොත් දුක් විදින්න වෙන බවත් දන්නවා,ඒකයි මේ වෙලාවේ දිනිතිගේ හිත යන්තමට තලලා හරි  දුර නොයා තියාගන්න හදන්නේ එහෙම නැතුව බකට් පෙරලන්න හිතන කෙනෙක් නෙවි නිශා.ඔයාලට එහෙම හිතුන ද?
******************************************************************
හරියටම වෙලාව හතර වෙද්දි අවිශ්කත් මලිතුත් අවිශ්කගේ යතුරු පැදියෙන් මාතර කොටු දොරකඩ අසලට ආවා.
“ඒ බං වේලාසන වැඩි ව‍ගේ 4.30ට නේ ඔය ඔෆිස් ඇරෙන්නේ” මලිත් අවිශකට කිව්වේ බයික් එකෙන් බැස හෙල්මටය ගලවන ගමන්.

අවිශ්ක නම් කොටු දොරකඩින් ඈත බලාගත් ගමන්මයි.මලිත් කියන දෙයක් තියා කොච්චියක් කණ ලගින් ගියත් ඇහෙන එකක් නෑ.
මලිත් ටිකක් එහාට මෙහාට ඇවිද්දා,වට රවුම දිහා බලං හිටියා හරියට බස් ගනින්න වගේ.මේ පැය බාගේ ඉවරයක් නෑ වගේ වෙලාව බලන බලන සැරේට තව ටිකක් තියනවා...තම ඔරලෝසුව කැඩිලද කියලා සැකේට ඔරලෝසු කනුව දිහාත් බැලුවා ඒත් ඒ උත්තරේම තමයි.ල
“කෝ තාම නෑ නේ අද ආවේ නැතුව වද්ද?”ඇතැම් කාර්යාලවල සේවකයෝ වැඩ නිමවි තමන් පසු කර යන දෙස බලා සිට මලිත් අවිශ්කගේ පිටට අත තියමින් ඇසුවා.

එක වරම බයික් එකේ අසුනින් නැගිට ගත් අවිශ්ක බිය කැටිවුනු සිනා මුවින් මලිත් දෙස බලා ඈතට අත දිගු කළා.
“ඈහ්!.. එනවද? කෝ කවුද? අර රෝසපාට සාරිය ඇදන් එන කෙනාද?” මලිත් ඇසුවේ ඈත එන නිශා දිහා බලා ගෙනයි.
“නෑ නෑ එහා පැත්තේ” අවිශ්ක සංඥා කළා.

“අම්මට සිරි අර කහපාට සාරිය ඇදන් එන ගර්ල් ද. මාර පාරක් වගේ..යකෝ මු ඉදලා ඉදලා සෙට් කරන් තියන්නේ හයිවේ එකක්නේ.එළ බං එළ. නැගපං ඔය බයක් එකට හරවා ගනින් අර පාලම උඩට එතන ඉදං ෆලෝ එක දෙමු.”

දිනිතිත් නිශාත් සිය බෝඩිම තියන උයන්වත්තට යන්න කොටු දොරකඩින් වමට හැරී පාලම දෙසට පිවිසියා.සෙමින් සෙමින් අවිශ්කත් මලිතුත් සිටි තැන පසු කර ඉදිරියට ඇදුනා.ස
“ඔන්න මචො එකක් හරි. කෙල්ලට තාම කොල්ලෙක් නෑ කියලා අපිට මූලික අදහසක් ගත හැකියි.එක්කෝ ඌ එන්න ඕන නැත්නං කෙල්ල ‍ෆෝන් එක කනේ තියන් යන්න ඕන. යමං... බලමු ඉන්නේ කොහේද කියලා”

අවිශ්ක බයික් එක පනගන්වාත් සමගම කොහේදෝ සිට පැමිණි සිරිපොද වැස්සක් නගරය සිසාරා පැතිර ගියා. දිනිතිත් නිශාත් සිය කුඩ හිසලා ගනු  දෙදෙනා පසුපස සිට බලාසිටියා.අවිශ්ක යතුරුපැදිය සෙමින් ඉදිරියට ධාවනය කලත් ඔහුගේ සිත වේගයෙන් ධාවනය වුනා.


(අයිතිය "කිරිපැණි"බ්ලොග් අඩවිය සතුය)

No comments:

Post a Comment